Pages

Wednesday, November 30, 2011

සුළඟ ..

රෑ ආකාසේ තරු එක දෙක හිනා වෙන්න ගත්තා.මඳ සුලඟක් ඒ  තරුවල හිනාවට වශී වෙලා ඒ දිහාවට ඇදෙන්නට ගත්තා.ඒත් එක පාරටම කොහේදෝ හිටිය අඳුරු වලාකුලක් ඇවිදින් ඒ පායන්න බලාගෙන හිටිය තරු ඔක්කෝම එක  සැරේ වසාගත්තා.තරු දිහාවට යන්න ගිය හුලඟ මඟ වෙනස් කරගෙන අකීකරු විදියට කොහේදෝ අතකට ඇදුණා....ආයේත් මේ එන්නේ ඒ හුලං රළ නම් නෙවෙයි.හිතේ මොකක්දෝ කියාගන්න බැරි අමුතුම පීඩනයක් තියාගෙන මම ඇස් පියන් වසාගෙන  පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා.
  

මට එක සැරේටම මතක් වුනේමේ බොබ් ඩිලන් නම් අමැරිකානු පද රචකයා ,ගායකයාගේ  “The Freewheelin’,” නම් ඇල්බමය සඳහා  රචනය වූ Blowin' in the  Wind ගීතය




මාවත් කොයි තරම්  පසු කර එන්නට ඇත්ද......
අත් දැකීම් සපිරි මිනිසෙකිය මේ
ලෝකයා පවසාලන්න පෙර,
කොතරම් මුහුදු තරණය කොට ඇත්ද......
තටු රිදී  සුදු පරවියන්
සුසුම් හෙළමින් නිදන්නට පෙර,
කාලතුවක්කුවේ වියරු හඬ ........
කවදා නැවතී යයිද සදහටම
කිසිවෙකු විත් එය නවතාලන්න පෙර ,

මිතුර
පිළිතුර සැඟව
හමයි
මඳ සුලඟ
ලෝකය දෙසට....

කඳු ශිඛරයක් වුව
කොතරම් කල් නැගී හිඳීවිද,
මුහුදු රළ අතර දියව යන්නට පෙර.......
මිනිසෙක් වුව කෙතෙක් කල් හිඳීවිද,
සුලඟ නැහැපුඩු තුළට ගන්නට බැරිව.........
කීවරක් ඔබ, මා සඟවගන්නද
ඔසවනා කල හිස
නොදුටුවා සේ
මේ සත්‍ය ය......


මිතුර
පිළිතුර සැඟව
හමයි
මඳ සුලඟ
ලෝකය දෙසට....

තව කී දිනක් අප ඉහළ බලමුද
දකින්නට
අහස ලා නිල් පාට වග.........
සවන් යුගලක් පමණක්ම ඇති වේද
ඇසෙන්නට
තව එකෙක් නඟනා දුක් ගීය.....

ඉතින්...

තවත් කොපමණ ලේ සැලිය යුතුද අප
පෙනෙන්නට,
ලෝකයේ එක කොණක
කිසිවෙකුම හෝ
මේ මොහොතේද
නිදහස සොයා
මියැදෙනා වග.....


මිතුර
පිළිතුර සැඟව
හමයි
මඳ සුලඟ
ලෝකය දෙසට....


1960 දශකයේ අමැරිකානු සමාජයේ තරුණ පරපුර පාලක පක්ශය , යුද්ධය හා බඩගින්න මේ සියල්ලට එරෙහිව මහා අරගලයක් දියත් කල අතර එය හිපි සංස්කෘතියක් ලෙස ඇතැමුන් හැඳින්වූවා.මේ ගීතය ගායනා කරන පද රචනය කල ඇලන් සිම'මෑන් නැතිනම් කවුරුත් දන්නා පරිදි බොබ් ඩිලන් අයිති වූයේ මේ උප සංස්කෘතියටයි.ද්වීතික අධ්‍යාපනය හමාර වූ වහාම මොහු ගිටාරයත් සූට්කේසයත් පමණක් අතැතිව නිවුයෝක් නගරයට එනවා.එතැන් සිට ඇරඹුන සංගීත ගමනේ උච්චස්ථානය අවුරුදු 21දී නිකුත් කල “The Freewheelin’,” ගීත ඇල්බමය වෙනවා.මේ ගීයේ මුල් පද පේලිය තුළින් කියවෙන්නේ  මිනිසාට තමන්ට අයත් අභිමානය ලබා ගත හැක්කේ කොතරම් නම් දුක්
දෝමනස්සයන්වලට මුහුණැ දීමෙන් පසුවද යන්නයි.මේ ගීතය පුරාම ඇසෙන "The
answer, my friend, is blowin' in the wind."පද පේළිය සුලං රළ පහර ලෙස
නින්නාද දෙමින් පවතිනවා..පිළිතුරු අපට නොපෙනේ. ඒවා මේ අවකාශයේ කොතැනක හෝ පවතී අප කල යුත්තේ ආයාසයක් යොදා කෙසේ හෝ ඒවා සොයා ගැනීමයි . නිමක් නැති ගැටළු හා ඒ අසලම රැඳුණු පිළිතුරු.එහෙත් මේවා දකින්නේ කීයෙන් කීදෙනෙක්ද..සුළං රැල් වල දැවටුණු පිළිතුරු මහ පොලොවේ එහේ මෙහේ පියාඹද්දී ඒවා කිසිවෙකු නොදැක්කාසේ ඉඳී.එවිට නැවත ඒවා ඈතට ගසා ගෙන
යයි.ගසා ගෙන ගිය පිළිතුරු නැවත සොයන්නට බොහෝ කල් ගත වන අතර තුර ගැටලුව නැවත ඔඩු දුවා ගිය  පිළිලයක් වී හමාරය.මේ ගීතයේ හැම පේළියක් පේළියක් පුරාවටම බොබ් ඩිලන්ගේ උත්සාහයවී ඇත්තේ එම දශකය පුරා ඇතිවූ වියට්නාම් යුද්ධය පිළිබඳ සමාජයේ පණිවිඩය අමැරිකානු රජයට ලබා දීම බවයි මගේ සිතිවිල්ල.මෙය අමැරිකාවාසින්ගේ පමණක් නොව මෙලොව ඇති සියළුම දේශ
දේශානතරයන්හි සැරිසරුවද නොවෙනස්වන පොදු සිතිවීල්ලක් නොවේද සමානාත්මතාව නිදහස හා ජීවත්වීමට ඇති අයිතිය...

  මේ ගීතය එක් පසෙකින් මනසේ වාදනය වෙද්දී  ඒ ගීතයටම ඌණපූරනයක් එක්කහු කල තවත් එක් ගීතයක් මගේ සිහියට පැමිණියා.ඒ කේවින් අයස් නම්  ගායකයාගේ ඇල්බමයක එන
ගීතයක්.මේ එහි සිංහල අනුවාදනයක්


කොතරම් මහා සුලඟක් හැමූවද
ඔබට පිළිතුර සොයා ගත නොහැකිය
සුමිතුර,
පිලිතුර ඔබ ඉදිරිපිට
ඔබගේ නැහපුඩුව අසල
එහෙත්....
සැවොම දකින්නේ
මගේත්
ඔබේත්
නැහැ පුඩුව පමණමයි,
ගසා ගෙන යන අතරතුර
පිළිතුර
මහා සුලඟට...




හෙමින් සුලං  රළක් හමා ගියා.මම වසාගෙන හිටිය ඇස් පියන් හෙමි හෙමින් හැරියා.කළු වළාකුලු දකින්නට තිවුනේ නැහැ තවදුරටත් ඉහළ ආකාසේ.මම , ඉදිරිය බැලුවා.මඟ පැහැදිලියි.පිළිතුර මා අසල. පිපෙන්නට ලඟ පුංචි තරු කැකුළියක්මා එක්ක හිනා වුණා....

1 comments:

Hishan Melanga said...

මට හිතෙන හැටියට 1960 ගණන්වල American ගායකයො වැඩි හරියක් ඔය චෙනස් වන "සුලං" ගැන කතා කරල තියෙනව. Scorpions - Wind of Change කියන සින්දුවත් ඔබ පවසන ආකාරයට යුද්ධයෙන් පසු මිනිසුන් සැනසුම් සුසුම් හෙලන හැටි ගැන ලස්සනට කතාකරනව.

Post a Comment